“ආලෝකෝ උදපාදී”.
ආයුබෝවන්
සම්බුදු පහස ලද කැලණි පුරවරයේ මන්ද ආලෝකයෙන් හරිත වර්ණ කෙත් වලින් පරිපූර්ණ වූ ද ඌරුවල් සහ අත්තනගලු ඔයින් මායිම් වූ ගම්පහකින් ඒකාබද්ධ වූ ගම්පහ නගරය ගම්පහ දිස්ත්‍රික්කයේ අග නගරයයි. සියලු පහසුකම් වලින් සපිරි ප්‍රබුද්ධ ජනතාවගෙන් සෝභමාන වූ මෙම නගරය මධ්‍යයේ ප්‍රෞඩ අභිමානවත්, මෙහෙවරක් ඉටු කරන බොදු බැතිමතුන් අති මහත් සංඛ්‍යාවකගේ ගෞරවාදරය දිනාගත් තරුණ බෞද්ධ සමිතිය වෙත අපි ඔබ කැඳවාගෙන යන්නෙමු .
ආරම්භය:
ක්‍රි.ව. 1937 ජූනි මස එක් දිනක මෙම නගර ද්වාරයේ විසූ තරුණ පිරිසක්, එනම් මුහන්දිරම් ඩබ්.පී. ජයවර්ධන, එම්.පී.ද සොයිසා, එස්.ආර්.ජයසේකර, සි.පී.එස්.රත්නවීර, ඒ.ජිනදාස පෙරේරා,ඒ ජයසිංහ පෙරේරා , සී වංශරත්න. ඒ වීරසිංහ, ඩී.ඊ.වීරසිංහ හා ජේම්ස් ජයවර්ධන යන ශූරීහු, කොළඹ පාරේ ඇඩ්වින් ඒ.එදිරිසිංහ මැතිදුන්ගේ ඡායාරූප ශාලාවට රැස් වී බෞද්ධ සමිතියක් ආරම්භ කළහ. ආරම්භයේදී පුෂ්පදාන සමිතිය නමින් වූ මෙම සංවිධානය ගම්පහ මැදගම සිරි සුනන්දාරාම විහාරස්ථානය මුල් කොට පවත්වාගෙන ගියේය. 1941 වසරේ දී තරුණ බෞද්ධ සමිතිය නමින් ස්ථාපිත කර, එහි ප්‍රථම සභාපති තනතුර මුහන්දිරම් ඩබ්ලිව් . පී. ජයවර්ධන මැතිඳුන් වෙත පිරිනමන ලදි.
එම්.පී. ද සොයිසා මහතා සම්පාදක (ලේකම්) තනතුරට පත් වූ බව වාර්තා ගතය.
විවිධ බාධක මධ්‍යයේ නිශ්චිත මධ්‍යස්ථානයක්ද නොමැතිව ආනන්ද එදිරිසිංහ මහතාගේ ඡායාරූප ශාලාවේ සහ ඇතැම් ව්ට වෙනත් ස්ථාන වලද රැස්වීම් පවත්වමින් 1954 වර්ෂය දක්වා විශිෂ්ට සේවා රැසක් ඉටු කර ඇත. 1954 වසරේදී මුහන්දිරම් ඩබ්.පී. ජයවර්ධන, එල්.ජේ.රණතුංග, ඩී.එස්.කේ`එගම්පිටිය,
එස්.පී.ආර්. කරුණාරත්න, ඩී.ඩබ්.විජේසූරිය, ඒ. ජයසිංහ, ඒ. ජයසිංහ පෙරේරා, වෛද්‍ය ඩබ්.ආර්.පෙරේරා , පී.පී. වික්‍රමාරච්චි, පී.පී. ජයවර්දන, එස්.එල් සමරනායක, ඩී.ජේ.ඊ.දිසානායක,ඊ.පී.ජේ.රණතුංග යන මහතුන් විසින් මෙහි වගකීම් භාරගෙන නිවසක් කුලියට ගෙන පවත්වාගෙන ගිය බව සඳහන්ය. පසුව සමිතියේ කටයුතු පුළුල් කිරීමේ අදහසින් කොළඹ පාරේ ඩී.ඩබ්.විජේසූරිය මහතාගේ නිවස මූලස්ථානය කරගෙන ඇත. මෙම තරුණ බෞද්ධ සමිතියේ උන්නතිය සඳහා පැවිදි පඩිවරුන් කිහිප දෙනෙකුගේ, එනම් පූජ්‍ය මාදෙල්ගමුවේ ශ්‍රී විජය ශ්‍රී, කහඹිලිහේනේ සෝමානන්ද හාන්දු පැල්පොල මේධානන්ද ,කේ.සීලවංශ දරමිටිපොල රතනසාර, කන්න දෙනියේ සුගතවංශ, පහළගම ශ්‍රී සරණපාල, මාදෙල්ගමුවේ මහින්ද සෝම යන අතිපූජනීය මහතෙරුන් වහන්සේලාගේ නොමඳ ආශිර්වාදය හා මඟ පෙන්වීම ලැබී ඇත. වර්ථමානයේ දී තුම්මෝදර සමිතසෝම, තෝරපිටියේ ආනන්ද, තංගල්ලේ සෝමසිරි යන අතිපූජනීය මහා සංඝරත්නයේ
ආශිර්වාදය හා මඟ පෙන්වීම නොමඳව ලැබෙමින් පවතී. එමගින් විශිෂ්ට සේවාවක් සිදු කිරීමට හැකි වී ඇත.
සමිතියට ස්ථාවර ස්ථානයක් හා ගොඩනැගිල්ලක් ද අවශ්‍යතාවය බෙහෙවින් පෙනී ගියෙන් එම්.පී. ද සොයිසා මැතිතුමා ගම්පහ නගර සභාව සතු ඉඩම් කොටසක් ලබා ගෙන අවශ්‍ය ඉදිකිරීම් කටයුතු ඇරඹිණි.
1957-02-24 දින එවකට අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා විසින් නව ගොඩනැගිල්ල
විවෘත කර ඇත.
එම්.පී.ද සොයිසා මහතාගේ බලවත් උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් 1973-08-29 දින මෙම භුමි භාගය අනුනව අවුරුදු බදු ක්‍රමය යටතේ අතිගරු ජනාධිපති විලියම් ගොපල්ලව මැතිතුමා අතින් ලබා ගෙන ඇත.
අනතුරුව ප්‍රසිද්ධ සමාජ සේවකයෙකු වූ සිරිසේන මල්ලවාරච්චි මහතාගේ කැපවීමෙන් එතුමාගේ ධන පරිත්‍යාගයෙන් හා ප්‍රදේශයේ මහජනතාවගෙන් ලද පරිත්‍යාග වලින් නව ගොඩනැගිල්ල ඉදි කර 1989-03-16 දින විවෘත කරන ලදි.
